Tuesday, June 15, 2010

මනස හා මොළය

The Mind and the Brain: Neuroplasticity and the Power of Mental Forceමනස හා මොළය අතර සම්බන්ධය එදා මෙන්ම අදත් විද්‍යාඥයන් හා චින්තකයන් අතර සංවාදයන්ට හා පර්යේෂණයන්ට තුඩු දුන් හා තුඩු දෙන සජීවී සාකච්ඡාවකි.

මෙම සම්බන්ධය පැහැදිලි කිරීම සදහා විවිධ වාදයන් ඉදිරිපත් කෙරී ඇත. මුල් කාලීනව පැවති මතයක් වූයේ සිතුවිලි යනු ද්‍රව්‍යමය දෙයක් වන අතර අක්මාවෙන් පිත ස්‍රාවය වන්නා සේ මොළයෙන් සිතුවිලි ස්‍රාවය වන බවයි.
තවත් පිරිසකගේ මතය වූයේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මනසේ ක්‍රියාකාරීත්වය එකිනෙකින් වෙනස් ශක්තීන් ප්‍රභේද දෙකක් වන අතරම ඒවා එකිනෙක හා සමාන්තරව ක්‍රියාකරන බවයි.
තවත් චින්තකයන් පිරිසකගේ අදහස වූයේ මනස යනු වෙනමම වූ ආධ්‍යාත්මික දෙයක් බවත් එය ප්‍රකාශ වන්නේ මොළය හරහා බවත්ය. ඔවුන් එය සංගීතඥයෙකු වයලීනයක තත් කම්පනයෙන් තම ආත්ම ප්‍රකාශනයට සමාන කොට දැක්වීය.

නූතන වෛද්‍ය විද්‍යාත්මක මතයට අනුව; මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. එනම් මොළය තුල සිදුවන විද්‍යුත්-රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් සිතුවිලි පහල වන බවයි.

කෙසේ මුත් පර්යේෂණ ඇසුරින් ඔප්පු වී ඇති කරුණක් නම්; මොළය මගින් මනසටත්, මනස මගින් මොළයටත් ඒ හරහා මුලු ශරීරයටත් යන දෙදිශාවටම බලපෑම් කිරීමේ හැකියාවයි.
උදාහරණයක් වශයෙන් යම් රෝගී තත්වයක් නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීමක් සිදු වුවහොත් එය විශාදය (depression) ලෙස ප්‍රකාශ විය හැකිය. තවද මොළය මත තෙරපුමක් ඇති කරන අර්බුද (tumour) නිසා පුද්ගල චර්යාවේ අසාමාන්‍ය වෙනස්කම් සිදුවන බවත් එම අර්බුදය ඉවත් කල විට තත්වය සාමාන්‍ය අතට හැරෙන බවත් නිරීක්ෂණය කොට ඇත. තවද සමහර මානසික රෝගීන්ගේ අධික කාංසා තත්වයන්, මොළයේ ඉදිරිපස කොටස් සම්බන්ධ කරන ස්නායු තන්තු කපා දැමීමෙන් සුව කල හැකිය.

එසේම සධනීය සිතුවිලි සන්නිවේදනය මගින් අපගේ සිරුරේ වර්ණය පැහැපත් වන බවත්, නිතර බුද්ධිමය ව්‍යායාමයන්හි නිරත වීමෙන් මොළයේ ස්නායු අතර සම්බන්ධතා වැඩිවන බවත් සොයාගෙන ඇත.

මනස හා මොළය අතර අන්තර්ක්‍රියාකරීත්වය තබා එම පද්ධති දෙක පිලිබදවත් අපට තවමත් හරිහැටි අවබෝධයක් නොමැත. මොළය යනු විශ්වයේ ඇති සංකීර්ණතම  පද්ධතියක් සේ සැලකේ. එහි සැගවුනු රහස් බොහෝ වේ. සමහර විට විද්‍යාවට යා හැකි දුර සීමාසහිත වන්නට පුළුවන. එතැන් සිට එළඹෙන සීමාවන් තරනයට බුදු දහම පිටිවහලක් වන බව මගේ හැගීමයි.

No comments:

Post a Comment