උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙකුගෙන් ඔබ ඉගෙන ගන්නේ කුමන අරමුණක් වෙනුවෙන්දැ යි විමසුවහොත්, බොහෝ ශිෂ්‍යයන් පිළිතුරු දෙනු ඇත්තේ, වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු හෝ නීතීඥයෙකු හෝ තමන් ප්‍රිය කරන අනාගත වෘත්තිකයෙකු වීමට තමන් ඉගෙනගන්නා බවයි.
මා සිතන ආකාරයට මෙම අරමුණ ද්විතීයික අරමුණකි. මාගේ ආකල්පය නම් උසස්පෙළ් සිසුවකුගේ ප්‍රාථමික අරමුණ විය යුත්තේ තමා ප්‍රිය කරන විෂය උපරිමයෙන් රසවිදීමට අවැසි දැනුම ලබා ගැනීමයි. එම විෂය කලා ද වානිජ ද නැත්නම් විද්‍යා ද යන්න ගැටලුවක් නොවේ. අවශ්‍ය වන්නේ තමා ගේ මොළය හා හදවත යා කළ හැකි විෂය තෝරා ගැනීමයි. එහිදී ආකර්ශනීය වෘත්තීන් යන සාධකය සමීකරණයෙන් ඉවත් විය යුතුය.
මා අදහස් කරන්නේ ශිෂ්‍යයා තම විෂය උපරිමයෙන් රසවිදින්නෙක් විය යුතු අතර, ලෙඩේ සුව වීමට බොන තිත්ත බෙහෙත් මෙන් තම විෂය තෝරා නොගත යුතු බවයි. නමුත් අද විවිධ සමාජ බලවේග මගින් ශිෂ්‍යයන්ට බලකෙරී ඇත්තේ ආකර්ශනීය වෘත්තීන්ට කෙසේ හෝ පිවිසීම සදහා තමන් නොකැමති විෂයන් තිත්ත බෙහෙත් බොන්නාක් මෙන් මොළගත කිරීමට ය.
මෙහිදී සාර්ථක වන ශිෂ්‍යයන් ප්‍රමාණය ඉතා සුලු පිරිසකි. එයට කදිම උදාහරණය වන්නේ උසස්පෙළ වාර්ෂිකව අසමත් වන ශිෂ්‍ය සංඛ්‍යාවයි. විශේෂයෙන්ම වාර්ෂිකව විද්‍යා විෂයන්ට පෙනී සිටින ශිෂ්‍යයන්ගෙන් හරි අඩක් පමණ විභාගයෙන් අසමත් වේ. මෙයට බලපාන එකම හේතුව නොදිරවන විෂයයන් හැදෑරීම යැයි මම නොකියමි. නමුත් එය ප්‍රධාන වන බව මගේ හැගීමයි.
උදාහරණයක් වශයෙන් මාගේ යහලුවෙකු උසස්පෙල විභාගය ඉතා ඉහලින් ගණිත අංශයෙන් සමත් වී ඉංජිනේරු පීඨයට ඇතුලත් වනු වෙනුවට භෞතික විද්‍යාව හැදෑරීමට තීරනය කල විට අනෙකුත් යහලුවන් පුදුම විය. එය ඔවුනට අරුමයක් විය. මක්නිසාද යත් ඔවුන් ඉගෙනගන්නේ දැනුමට ආසාවෙන් නොව රැකියාවට ආසාවෙන් නිසාය. තවද ඉහත තීරණය ගැනීමට ඔහුට තිබු ආත්ම විශ්වාසය අනෙකුත් බොහෝ සිසුන්ට නැත.
තමුන් ඉගෙනගන්නා වු විෂය ප්‍රියකරන්නා එය රසවිදින්නා විෂයට පෙම් බදින්නෙක් මිස එම විෂය පාලමක් කරගන්නා වු වෘත්තියත් සමග පෙම් බදින්නෙක් නොවිය යුතු බව මගේ හැගීමයි. යමෙකු ආසාවෙන් තමන් ප්‍රිය කරන විෂයක් හදාරයි ද ඔහු එම විෂයෙන් යා හැකි ඉහලම වෘත්තියට නිසගයෙන්ම ලගා වන බව මගේ විශ්වාසයයි.