Friday, May 21, 2010

සූර්ය කෝෂයක ක්‍රියාකාරීත්වය



සූර්ය කෝෂ මගින් සූර්ය ශක්තිය විද්යුත් ශක්තිය බවට පෙරලන අතර, මේ සදහා භාවිතා වන මූලධර්මය වන්නේ ප්‍රකාශ විද්යුත් ආචරණයයි. ප්‍රකාශ විද්යුත් ආචරනය යනු ආලෝකය හමුවේ ද්‍රව්‍ය මගින් ඉලෙක්ට්‍රෝන මුක්ත කිරීමේ හැකියාවයි. මෙම සූර්ය කෝෂ ගණක යන්ත්‍ර වල සිට චන්ද්‍රිකා දක්වා විශාල පරාසයක භාවිතයට ගැනේ.

සිලිකන් යන අර්ධ සන්නායකය ප්‍රකාශ විද්යුත් කෝෂ වල ප්‍රධාන සංඝටකයකි. අර්ධ සන්නායකයක ඇති විශේෂත්වය නම් ඒවාට ලෝහ සහ විද්යුත් පරිවාරක යන දෙවිදියටම හැසිරීමට ඇති හැකියාවයි. ප්‍රකාශ විද්යුත් කෝෂයක් මතට ආලෝකය වැටුනු විට සිදු වනුයේ කුමක්ද?

හිරුගෙන් නිකුත් වන විකිරණ (ආලෝකය ඇතුලුව ) සෑදී ඇත්තේ ඉතා කුඩා ෆෝටෝන වලිනි. මෙම ෆෝටෝන සිලිකන් පරමාණු හා ඝට්ටනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සිලිකන් පරමාණු වල ලිහිල්වම බැදී ඇති ඉලෙක්ට්‍රෝන නිදහස් වීම සිදුවේ. මෙහිදී සිදුවන්නේ ෆෝටෝන වල ශක්තිය ඉලෙක්ට්‍රෝන වලට මාරු කිරීමයි.

ඉන්පසු මෙම මුක්ත ඉලෙක්ට්‍රෝන විද්යුත් ධාරාවක් බවට සකසා ගත යුතුය. එය සිදු කරනුයේ කෝෂය තුල විද්යුත් අසමතුලිත බවක් ඇති කිරීමෙනි. එය ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගමන් කරවීම සදහා උපකාරී වන බෑවුමක් වැනිය.

මෙම අසමතුලිත බව ඇති කරගනුයේ සිලිකන් වල අභ්‍යන්තරයේ සිදු කරන වෙනස්කමක් මගිනි. සිලිකන් පරමානු දැලිසක් ලෙස සකස් වී ඇත. දැලිසක් යනු පරමානු ඉතා තදින් බැදි ව්‍යුහයකි. මෙම ව්‍යුහයට වෙනත් මූලද්‍රව්‍ය ඉතා සුලු ප්‍රමාණ වලින් එක් කිරීමෙන් වර්ග 2 ක ව්‍යුහයන් සාදා ගනී. එවා n-type ( ඉලෙක්ට්‍රොන අතිරික්තයක් ඇති ) හා p-type ( ඉලෙක්ට්‍රෝන අඩු,ඒ වෙනුවට කුහර ඇති ) වේ.

මෙම වර්ග දෙක සූර්ය කෝෂයක් තුලදී එක් කල විට n-type හි අමතර ඉලෙක්ට්‍රෝන p-type ඇති කුහර පිරවීමට මාරු වීම සිදුවේ. මෙවිට n-type ධන ලෙස ආරෝපනය වන අතර p-type ඍණ ලෙස ආරෝපනය වේ. මේ නිසා කෝෂය හරහා විද්යුත් ක්ෂෙත්‍රයක් ඇති වේ. සිලිකන් වලට විද්යුත් පරිවාරකයක් ලෙස ක්‍රියා කල හැකි නිසා එයට මෙම අසමතුලිත බව පවත්වාගත හැකි වේ.

මෙම විද්යුත් ක්ෂෙත්‍රය නිසා ෆෝටෝන මගින් මුක්ත වූ ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ක්‍රමානුකූලව ගමන් කරමින් විවිධ උපකරණ ක්‍රියා කිරීමට අවශ්‍ය විදුලිය සපයාදෙයි.

No comments:

Post a Comment