Wednesday, May 19, 2010

දවසක් පැල නැති හේනේ ....

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ




නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ




කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ




පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
සංගීතය   - විශාරද ගුණදාස කපුගේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ


සිංහල ගීත කලාව පෝෂණය කල සුසුම සංයෝගයක විශිෂ්ට භාව පූර්ණ නිර්මානයක් වූ මෙම ගීතය ඇසුවන් හද සියුම්ව ස්පර්ශ කරමින් ශ්‍රාවකයා වෙනමම වූ මනෝ භාවයකට රැගෙන යයි.මවකගේ අපරිමිත සෙනෙහස මොනවට විදහා දක්වමින් රංබන්ඩා සෙනෙවිරත්නයන් පද පෙලහර කරන අයුරු ශ්‍රවකයා තුල අපූර්වත්වයක් ජනිත කරයි.මා සිතන පරිදි සිංහල ගීත කලාවේ අතිශය ගැඹුරුතම එමෙන්ම එකම පිරිමි කටහඩ හිමි ගායකයා වන ගුණදාස කපුගේ ශූරීන් මෙම පද මාලාවට ජීවය දෙන්නේ ශ්‍රවකයා ආනන්දයට පත් කරමිනි.


මා අසා ඇති පරිදි මෙම ගීතයට පාදක වූ සිද්ධි දාමය රංබණ්ඩා සෙනෙවිරත්නයන්ගේ ජීවිතයට සමීපය.


                                                
                         "දවසක් පැල නැති හේනේ
                           අකාල මහ වැහි වැටුනා"


මෙහි පැල නැති හේන යන්නෙන් අර්ථවත් වන්නේ පිය සෙනෙහස අහිමි පවූලක් පිලිබදවය. මෙම තනිකඩ මවට හා දරුවාට විදින්නට වන දුක්ක දෝමනස්සයන් හා අගහිගකම් අකාල වැස්සකට රචකයා උපමා කොට දක්වයි.


                        "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"


එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට සැපවත් ජීවිතයක් ලබාදීමට දරන උත්සාහය කවියා පාඨකයාට සන්නිවේදනය කරන්නේ අපූර්වත්වයක් ජනිත කරමිනි.


මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් වනුයේ මව දෙවන වර විවාහයක් නොවී තම දරුවා ජීවිතයේ එකම අරමුණ සේ ගෙන ඔහුගේ සැපත තම සැපත සේ සැලකූ බවයි.


පුතා උස් මහත් වී අම්මා තනිකර නගරයට යාම ව්‍යංගයෙන් හගවන කවියා, ඔහුට විදින්නට වන ගැහැට හමුවේ බිරිදගේ හැසිරීම දක්වනුයේ අපූර්වත්වය දනවමිනි.
                                  
                      "බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ"


යෝධ ඇලේ අති විශේෂත්වය නම් එහි බැස්ම ඉතා සුලු වීමයි. එහි බැස්ම හැතැම්මට අගලක් යැයි කියැවේ. එම නිසා යෝධ ඇල මතුපිටින් ගලන්නා සේ නොපෙනුනත් යටින් හිමින් සීරුවේ ගලා යයි.
මෙපරිද්දෙන් දුක් කරදර හමුවේ බිරිදද හිමින් සීරුවේ ඔහු තනිකර යන විට ඔහුට මවගේ සෙනෙහස සිහිවේ.
මෙවිට පුතා තම සියලු සැප සම්පත් හැර දමා අම්මා වෙත,අම්මාගේ සෙනෙහස වෙත දුව ගියත් එවිට ඔහු පමා වී වැඩිය, අම්මා ඔහු තනිකර මෙලොව හැර ගොසිනි.පුතා ගම රට බලා එන විට ඔහු පිලිගන්නට අම්මා ඉදිකඩ ලග නැත.
මෙම අවසන් පද පෙල කපුගේ ශුරීන් ගායනා කරන්නේ විලාපයක් බදු ශෝකී ස්වරයකිනි. එය ශ්‍රවකයා තුල අපරිමිත සංවේගයක් ජනිත කරන අතර සිත කම්පනයට පත් කරයි.

3 comments:

  1. හ්ම්ම්ම්ම් හොද දෙයක්...තවත් මේ වගේ විචාර දන්න...කියවන්න ආස හිතෙනවා :D

    ReplyDelete
  2. මමත් මේ ගැන මට හිතෙන දේ විචාරයකට නැඟුව හැබැයි මේක ටිකක් හරි කියල හිතෙනව හැබැයි රංබණ්ඩා ශූරින්ගෙ අත්චැකීමක් කියන එක විශ්වාස කරන්න අමාරුයි අන්තිම පද පේලිවලින් කියෙවෙන..

    කොළඹ අහස කළු කරගෙන
    මුහුදු හුළඟ හඬලන කොට
    ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ...

    කියන එකේ තේරුම මොකක් කියලද හිතන්නෙ?
    http://thisaraps.blogspot.com/2010/03/blog-post_09.html

    ReplyDelete